Tuesday 24 December 2013

නත්තල



ලොව පුරා වෙසෙන කිතුනු රටවල  කුඩා ළමයින්ට  නත්තල තරම් ප්‍රීති ජනක අවස්ථාවක්  තවත් නැත්තේය.නත්තලට  සති ගණනකට පෙරම තමන්ට  නත්තල් සීයා (father Christmas) ගෙන්  උවමනා කරන තෑග්ග  ළමයි ඉල්ලා  සිටිති. ළමයින්  හොඳට  හැසීරී හොඳ ළමයින්  උනොත්  නොවැරදීම  නත්තල් සීයා ගෙන්  තෑගී ලැබෙන බව  වැඩිහිටියෝ පවසති. ඉතින් අන් දිනවලට වඩා  නත්තල් කාලයේ  ළමයින් කීකරුය.

දෙසැම්බර් මාසයේ මුලදීම සරසා පිළියෙළ කරගන්නා නත්තල් ගස යට  නත්තල් සීයා තෑගි ගෙනවිත් තබන්නේ  නත්තලට පෙර දා  රාත්‍රියේදීය. තමන්ට තෑගි  රැගෙන පැමිණෙන  නත්තල් සීයාට කෑම පිණිස මින්ස් පයි  (mince pie ) සහ බීමද , නත්තල් සීයාගේ  කරත්තය අහසින් ඇදගෙන එන පිනි මුවන් (reindeer ) ගේ  කෑම සඳහා  කැරට් අලයක්ද  තැබිය යුතුය. චිමිනිය (Chimney ) දිගේ පැමිණෙන නත්තල් සීයා තෑගි තබා , කෑම  ස්වලපයක්ද අනුභව  කර යයි. ගෙදර  චිමිනියක්  නැත්නම් නත්තල් සීයා ඔහුගේ මැජික් යතුරෙන් දොර ඇරගෙනම  ඇතුලට  පැමිණේ.

උතුරු ද්රව්යේ  (north Pole ) සිට පැමිණෙන නත්තල් සීයාගේ ඇඳුම්ද ,වයසද , රූප සොභාවයද  හැමදෙනාම  දන්නේ  නත්තල්  සීයාගේ  පින්තුර නත්තලට මාස ගණනාවකට පෙරම කඩ සාප්පුවල දිස්වන නිසාය.

පරිගණක භාවිතය කුඩා ළමුන් අතරද  දැන්  ඉතා  ජනප්‍රිය නිසා , ගූගල්  (Google ) වෙබ් අඩවිය  මගින්  "සැන්ටා ට්‍රැකර්" නම් වෙබ් පිටුවක්ද , ඔවුන්ගේ  android ජංගම දුරකතන app එකක්ද  නත්තල වෙනුවෙන්ම  නිපදවා තිබුණි. ලොවපුරා ළමයින්ට තෑගි බෙදමින් යන  නත්තල් සීයා එක් එක්  රටවලට පැමිණෙන වෙලාවද , තෑගි බෙදන  ආකාරයද පෙන්නුම් කල "සැන්ටා ට්‍රැකර්"ට  අනුව  නත්තල් සීයා ලංකාවේ බදුල්ලද පැමිණ  තිබේ.

නත්තල් සීයා යනු වෙළඳ මෙවලමක් යයි ඇතැම් අය චෝදනා කලත් ළමයින්ගේ ලෝකය නත්තල් සීයා පිලිබඳ සොඳුරු මතකයන්ගෙන්  පිරී තිබේ.

ආගම ගැන කථා කරනවිට ලංකාවේ අප එය ප්‍රයෝගික ජීවිතයට යොදා ගන්නා ආකාරය ගැන සලකන්නේ   නැත. දහම්  පාසලේදී  පවා තේරුම නොදන්නා පාලි ගාථා කටපාඩම් කරවන අතර අපේ ආකාරයේ පන්ති කාමර අද්යාපනයක් තුලින් ආද්‍යත්මික ප්‍රබෝදයක් ඇති කලහැකියි  මා  සිතන්නේ  නැත.

ලංකාවේ කිතුණු සංගමය නත්තල් සීයාව  වෙලඳාම සඳහා  යොදා ගැනීම ශාන්ත නිකොලොස් මුනිවරයාට කරණ අපහාසය ලෙස දුටුවත් ලෝකයේ බහුතරය එසේ සිතන්නේත්  නැත. 

ඔබ සැමට සුබ නත්තලක් වේවා!

Friday 6 December 2013

කුළු ගෙඩිය

කුළු ගෙඩිය

නිරුවත් උඩුකයෙන් යුතු මිනිසුන් දෙදෙනෙක් පොළොව මත තැබූ විශාල ඇනයකට මහා මිටි දෙකකින් මාරුවෙන් මාරුවට පහර දෙති.වැදෙන සෑම පහරක් පාසාම දැඩි හඩක් නගමින් ඇනය ටිකෙන් ටික පොළොවට ගිලාබසී.ටික වේලාවකට පසු මිනිසුන් දෙදෙනා ගිමන් හරින්නට පටන් ගන්නා අතර තවත් අයෙකු පැමිණ ඇනය ගලවා එහි කොඩි කණුවක් සිටුවයි.
මේ මහා මිටියට කියන්නේ "කුළු ගෙඩිය" කියායි කවුදෝ කියනු මට මතකය. කුළු ගෙඩිය!! මෙය නම් හරි පුදුම නමක් යැයි එවකට ඉතාම කුඩා එකෙකුව සිටි මට සිතුනි.

මට හදිසියේම කුළු ගෙඩිය සිහියට නැගුනේ පසු ගියදාක ලංකාවේ පුවත්පත් වල තිබුණු ප්‍රවෘතියක් දැකීමෙනි. හරකුන් මරණ තැනක් වටලා කෘර ලෙස සතුන් මැරූ ඝාතකයන් අත්අඩංගුවට ගත් පුවතකි එහි වුයේ.එයට අනුව මොවුන් හරකුන් මරන්නේ  උන්ගේ අත් පය ගැටගසා හිස පොඩිවී යන පරිදි කුළු ගෙඩියකින් පහර දීමෙනි.එකී ලිපිය කියවන්නෙකුට හැගෙන්නේ ඝාතකයන් ඉතා ම්ලේච්ඡ මිනිසුන් කොටසක් ලෙසටය.

සත්ව ප්‍රෝටීන වැඩිපුර ආහාරයට ගන්නා දියුණු යයි සැලකෙන රටවල පවා සතුන්ට සලකන ආකාරය මෙයට නොදෙවනිය.
යුරෝපයේ ආහාරයට ගන්නා බිත්තර වලින් හරි අඩකටම වඩා නිපදවන්නේ  "බැටරි හෙන්ස්" යනුවෙන් හදුන්වන  කිකිලියන්ගෙනි. මිනිස් ශ්‍රමය මිල අධික මේ රටවල බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය ශ්‍රමය අවම කිරීම සඳහා කිකිලියන්ව තබා ඇත්තේ උන්ට හැරෙන්නට නොහැකි ලෙස සැකසු කුඩා කූඩු තුලය. උන්ට ආහාර සැපයෙන්නේද, උන්ගේ අපදව්‍ය හා බිත්තර එකතු කරගන්නේද ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙන "කන්වේයර් බෙල්ට්" මගිනි. කිකිලියන් කුඩුව තුල හැරුණොත් උන්ගේ බිත්තරද, කෑමද වැරදි කන්වේයර් පටියට යාම වලක්වීමටත්, කුඩා ඉඩක් තුල විශාල සතුන් ගණනක් තැබීමටත්ය උන්ගේ කුඩු කුඩා කර ඇත්තේ.
සත්ව හිංසනයට විරුද්ධව නැගෙන හඩට කන් දීමක් වශයෙන් පසුගිය වසරේ සිට යුරෝපා සංගමය කිකිලියන්ගේ කූඩු වල ප්‍රමාණය එක්තරා අගයකට වඩා කුඩා විය නොහැක කියා නීතියක් පවා පනවා ඇතත් එයින් වැඩි වෙනසක් වී නැතිබවයි වැඩි දෙනාගේ අදහස.
සුපර් මාර්කට් වල "ෆ්‍රී රේන්ජ්" එග්ස් හෙවත් නිදහසේ ඇවිදිය හැකි ලෙස තැනු කිකිලියන්ගේ බිත්තර හතරක මිලට "බැටරි හෙන්ස්" බිත්තර දුසිමක්ම ගතහැකි බැවින් බොහෝ පරිභෝගකයින්ද ඒ ගැන තැකීමක් නැත.

මස් සඳහා ඇතිකරන හරකුන් බැටළුවන් ආදී සතුන්ට නම් නිදහසේ ඇවිද උලා කෑහැකි තණ බිම් ඇති නිසා උන්ගේ ජීවන තත්වය කුකුලන්ට වඩා හොඳ අතර උන් මරණ්නට පාවිච්චි කරන්නේ "ස්ටනින්ග්(Stunning)" නමින් හැදින්වෙන සත්වයා සිහි නැතිකරවන ක්‍රම වේදයන්ය.මේ සඳහා විදුලියද, වායු වර්ගද ඇතැම් විට යොදා ගැනෙන බව කියන අතර බහුලව භාවිතා වන තවත් ස්ටනින්ග් ක්‍රමයක් වන්නේ විශේෂයෙන්  සැලසුම් කල උපකරණයකින් හිසට පහර දීමෙනි.මෙහිදී  මොළය විනාශ වී සතා ක්ෂණිකව සිහිනැතිවෙන බව කියනු ලැබේ.
මා වරක් පාසලේ පාපන්දු ක්‍රීඩා කරද්දී , ක්‍රිකට් පුහුණුවන්නන්ගේ ආරක්ෂක දැලට ඉහලින් පැමිණ පන්දුවක් හිසේ වැදී තප්පර කීපයකට මා ද "ස්ටන්" වූ අයුරු එය ඇසු විට මට සිහි විය.

යුරෝපා සංගමයේ මෙන් ලංකාවේත් සතුන්ගේ සුභ සාධනය සඳහා නීතී තිබෙනවාදැයි මම නොදනිමි.එසේ තිබුණත් ඒවා ක්‍රියාත්මක වන්නේත් නැත. බොහෝ දෙනෙක් මස් අනුභව කරන අතරම ලෝකයේ ඉතාම පිරිසිඳු බුදු දහම ඇත්තේ අපටයයි මහත් අභිමානයෙන් සිටින අප සතුන් මැරීමට මානුෂික ක්‍රම සෙවීමට තබා ඒ ගැන කතා කරන්නටවත් කැමති නැත.

මෙවන් පරිසරයක සිටින නුගත් , එහෙත් තම වෘත්තීය සතුන් මැරීම කර ගත්තෙකුට , සතාව මරා දැමීමට ඇති ඉහලම මානුෂික "ස්ටනින්ග්" ක්‍රමය උගේ දෙකකුල් බැඳ දමා හිසට "කුළු ගෙඩි" පහරක් දීම වන්නටත් පුළුවන.

ඒ නිසා මේ ම්ලේච්ඡයාව අල්ලා දැඩි දඩුවම් දියයුතුය කියා කෑ මොර දීමෙන් පමණක් කිසිවෙකුට වෙන යහපතක් නම් නැත!!

Saturday 30 November 2013

සුද්දී

සුද්දී

පසු කලෙකදී මා දැනගත් පරිදි අපගේ නිවසේ සිට කොළඹ ලෝක වෙළඳ මද්‍යස්ථානයේ රථ ගාල දක්වා ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර විසි හයකට වඩා ස්වල්පයක් අඩුය. කොළඹට එතරම් ලඟින් තිබුනත් මීට අවුරුදු විස්සකට තිහකට පෙර අපේ ගම ඇත්තටම පිටිසර ගමක් වැනිය. එවැනි ගැමි ගෙවල්වල පරිද්දෙන්ම අපේ ගෙදරත් මා කුඩා කාලයේ කිරි සඳහා එළදෙනක් සිටියාය.
ප්‍රුෂ්ටිමත්ව වැඩුණු ශරීරයක්ද, දුටුවන් බිය ගන්වන ආකාරයේ විශාල අං යුවලක්ද, තනි සුදු පාට හමක්ද තිබුණු නිසා අප ඇයට කීවේ සුද්දී කියාය.
ගෙදර එළකිරි තිබුණු නිසා දෝ කුඩා කල කිරි බීමට අපි එතරම් කැමැත්තක් නොදක්වීමු. මා වඩාත් කැමති වුයේ එයින් මීකිරි සදා ගෙන සීනි හෝ පැණි සමග කෑමටය.එළ හරකුන්ගේ කිරෙන් නිපදවන මීකිරි මීහරකුන්ගේ මීකිරි තරමටම දැඩි නොවුනත් මටනම් මේ දෙකම එක වගේය.

අපගේ දෛනික කිරි පරිබෝජනය ඉතා පහළ අගයක තිබුණු නිසා, සුද්දීගෙන් ලැබෙන කිරි වලින් වැඩි හරිය අපි ගම්වැසියන් සමග බෙදා ගතිමු.මේ නිසා උදැසනම කිරි ලබා ගැනීම සඳහා කිහිප දෙනෙක් අපේ ගෙදරට දිනපතා එති.
මේ අතර සිටි එක් අත්තම්මා කෙනෙක්ව කුඩා මට හොඳින්ම මතක, කිරි ලබාගත් විගසම ඇය එයින් උගුරු කිහිපයක් බොන නිසාය. අපේ අම්මා අපට එළකිරි දුන්නේ හොඳින් උණුකර නිවාගැනීමෙන් පසු නිසා උණු නොකර කිරි බීම එකල මා විමතියට පත් කල කරුණක් විය.

මට මතක හැටියට සුද්දිගේ අන්තිම පැටියා ලැබුණේ මට වයස අවුරුදු දහයක් හෝ දොළහක් පමණ වන කාලයේය. සුද්දී මෙන්ම තනි සුදු වූ පැටියාගේ හිසෙහි දුඹුරු පැහැති පුල්ලියක් තිබුණු නිසා මා ඌට කීවේ හඳයා කියාය.එයින් වසරක් පමණ යනතුරු මගේ හොඳම මිතුරා උනේ හඳයාය.

හඳයාගේ එක් ක්‍රීඩාවක් වුයේ උගේ හිසෙන් මා තල්ලුකර දැමීමය. ඌ කුඩා කල එය ඉතා විනෝදබර කටයුත්තක් උනත් දිනෙන් දින වැඩිවන උගේ කාය ශක්තිය සමග එය මටනම් ක්‍රීඩාවක් ලෙසට හැඟුණේ නැත.
 වයස අවුරුද්දක් පමණ වන විට අපේ පවුලේ හිතවතෙකුට ඌව දෙනා ලද බැවින් මා ඉන්පසු හඳයාව දැක්කේ නැත. නමුත් හඳයාව ගෙන යන අතරතුර ඌ මා සමග ක්‍රීඩා කල පරිදිම අපේ හිතවතාව තල්ලු කිරීමෙන් ඔහුව වෙලට ඇදවැටුණු කතාව අසා මා එකල හොඳටම හිනාවුන හැටි නම් තාමත් මතකය.

එයින් පසුව සුද්දී අපේ පවුලේ කෙනෙකු මෙන් වසර ගණනාවක් ජීවත් වුවාය. අපේ ගෙදර සුරතල් බල්ලෙක් නොවූ බැවින් වෙනත් ගෙවල්වල සුරතල් බල්ලට සමාන සැලකීමක් ඌට අපේ ගෙදර තිබුණි.
ගෙදර සිටින අවස්ථාවල සුද්දී තණකොළ ඇති තැනෙක ගැටගැසීම, ඌට වතුර සහ පුන්නකු දීම ආදිය මා ආසාවෙන් කල කාර්යයන් විය.

මට වයස අවුරුදු විසි ගණනක් වන තුරුම නිරෝගීව පසුවු ඇය එක් රාත්‍රියකදී හදිසියේම අතුරුදහන් වූවාය.

"සුද්දිගේ" වයස හැටියට ඇය නතර වන්නේ කොහිදැයි නිගමනය කිරීම අපහසු නොවන නිසා අපි ගව ඝාතනාගර වලට ගොස් සොයා බැලු නමුත් කිසිම සාධකයක් සොයා ගැනීමට අපොහොසත් වීමු.

ඉන් පසුව අපි ඇයව නොදුටුවෙමු .......

Friday 22 November 2013

පාස්පෝට්

පාස්පෝට්

මට මේ සටහන් ලියන්නට හිතුනේ  "හෙන්ලේ ඇන්ඩ් පාට්නර්" නමැති උපදේශකසේවා  සපයන සමාගම මීට මාස දෙකකට පමණ වර්ගීකරණය කල ලෝකයේ හොඳම සහ නරකම පාස්පෝට් ලැයිස්තුව දුටු විටය.
එයට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය යනු ලෝකයේ නරකම පාස්පෝට් නමයෙන් එකකි.

අපේ ගමන් බලපත්‍රය එතරම් පහත තැනක තැබීම ගැන අපට වෙනම විවේචනයක් ඇතත් ලාංකීය පාස්පෝට් එකක් දරා සිටීම නිසා විඳින්නට වෙන ගැහැට ගැන මම අත්දැකීමෙන්ම දනිමි.

මා මුලින්ම පිටරටකට ගියේ සති තුනක හෝ හතරක රැකියා පුහුණුවක් සඳහා මැලේසියාවටය. මා සේවය කල ඒ චීන සමාගමේ සේවය කලේ සේවකයන් කීප දෙනෙකු පමණක් බැවින් මගේ ප්‍රධානියා මා  සති හතරක් රටෙන් පිටවීම ගැන සතුටට පත්වුයේ නැත.එවකට ගුවන් යානයක ගමන් කර නොතිබුණු මම මේ ගමන ගැනමහත් ආසාවෙන් පසුඋනෙමි.
අවසානයේ මගේ ප්‍රධානියා එකගවුයේ  ටිකට් පතේ ආපසු පැමිණෙන දිනය විවුර්ථව තබාගෙන යන ලෙසටත් , ශ්‍රී ලංකා කාර්යාලයට මගේ සේවය අවශ්‍ය උනොත් පුහුණුව අතර මග නවතා වහාම ලංකාවට පැමිණෙන ලෙසටත් මා එකඟ කරවා ගෙනය.

මැලේසියානු ආගමන විගමන නිලධාරීන්ගෙන් මට සුහද පිළිගැනීමක් ලැබුණේ නැත.විවුර්ථ (unconfirmed) ටිකට් එකක් නිසා මා රටින් පිටවන දිනය ගැන ඔවුන්ට විශ්වාසයක් නැති බවත් වහාම ශ්‍රී ලන්කන් එයාර් ලයින් කවුන්ටරය වෙත ගොස්  ආපසු යන දිනය සහතික කරගෙන එන ලෙසත් ඔවුන් මට කීහ.
මෙය පැහැදිලිවම මගේ වරදකි. මම වහාම අදාල ස්ථානය සොයා ගියෙමි.
මගේ අවාසනාවට ශ්‍රී ලන්කන් එයාර් ලයින් කවුන්ටරය ඒ වන විටත් වසා අවසන්ය. එය විවුර්තව පවතින්නේ පැයක කාලයක් පමණක් බව එහි තොරතුරු කවුන්ටරයක සිටි කෙනෙක් මා සමග පැවසුහ.
ඉතින් මම ආපසු ආගමන විගමන නිලධාරීන් වෙත ගොස් ඒ බව සැලකර සිටියෙමි.

නිලධාරීහු ඔවුන්ගේ ඉහල නිළධාරිනියට මා ගැන වාර්තා කලහ.ඔවුන් කතා බස් කළේ මැලේසියානු  භාෂාව නමුත් මට වැටහුණේ ඇය මා රටට ඇතුල්වීම පිළිබඳව අකමැත්තක් නොමැති බවකි. අවසානයේ ඇය මගේ ගමන් බලපත්‍රය ගැන විමසා සිටියාය. "ආ.... ශ්‍රී ලන්කන් " ඇය මා වෙතට ආවාය. මම සිනහවකින් ඇයට සංග්‍රහ කලෙමි.
"ඔබ අර බංකුවේ හෙට මේ වෙලාව වෙනකන් නිදාගෙන ඉඳලා, ශ්‍රී ලන්කන් එයාර් ලයින් අය ආවහම ටිකට් එක කන්ෆර්ම් කරගෙන ආගමන  නිලධාරීන්ට ඒක පෙන්නන්න" ඇය මිත්‍රශීලී නොවූ හඬකින් පැවසුවාය. මා සිතුවේ ඇය විහිළු කරනවා කියා නමුත් ගමන් බලපත්‍රය එතන දමා ඇය යන්නට ගියාය.
කවුන්ටරයේ සිටි නිලධාරියා කීවේ ඇය කී පරිදි කරන ලෙසය
.මම බලවත් අසරණ බවකට පත් උනෙමි.

වටපිට බැලු මට "චීෆ් ඉමිග්රේෂන් ඔෆිසර්"  කියා සඳහන් කර තිබුණු අඳුරු වීදුරු සහිත කාමරයක් පෙනුණි. මම වහාම එහි ගොස් එහි සිටි ප්‍රධානියාට මට වුනු අපහසුතාව කීවෙමි. මගෙන් ප්‍රශ්න කීපයක් ඇසු ඔහුට මා වංචා කරුවෙකු නොවන බව වැටහෙන්නට ඇත. ඔහුම මගේ ගමන් බලපත්‍රයේ මුද්‍රාව තබා මට රටට ඇතුල් වීමට අවසර දුන්නේය.

තවත් වරක "hong kong" හි මා රඳවා ගැනුණේ මා චීනයට යන අතරතුර "hong kong" හරහා ගොස් නැති නමුත් ආපසු එන ගමනේදී එහි පැමිණීම ඔවුන් සැක කළ බැවිනි.එය මා "hong kong" පැමිණි පළමු වර බව ඇසුවිට ඔවුන් මා කාමරයක රඳවාගෙන පැයක් පමණ ප්‍රශ්ණ කලහ.

ඉන්පසුව මා එම රටවලට කීප වරක් ගියනමුත් කිසිම අපහසුතාවක් ඇති නොවීය. මගේ අදහසනම් ශ්‍රී ලාංකිකයෙකු මුල්වරට යනවිට අදාල රටවල් ආගමන නිලධාරීන් කිසියම් සැකයකින් ක්‍රියා කරන බවයි.
බොහෝ විට එයට හේතු වන්නට ඇත්තේ ඇතැම් ශ්‍රී ලාංකිකයන් අතීතයේදී කල නීති විරෝධී කටයුතු විය හැකිය.

කෙසේ නමුත් අපේ ගමන් බලපත්‍රයට පහත් තැනක් හිමිවීමට හේතුව ඉහත කරුණම නොවේ. ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ අදුරදර්ශී ක්‍රියා ද මේසඳහා බෙහෙවින් බලපා තිබේ.

මගේ ගමන් බලපත්‍රයට තිබුනේ අවුරුදු පහක වලංගු කාලයකි. පාස්පෝර්ට් වල වලංගු කාලය කෙටි කෙරීම නිසා අදාල දෙපාර්තු මේන්තුවට වැඩි ආදායමක් උපයා ගැනීමට ඔවුන් කටයුතු කලාදැයි මම නොදනිමි.
නමුත් පැහැදිලිවම ඒ සඳහා සැලසුමක් නොවීය. මා ගමන් බලපත්‍රය දීර්ඝ කරන්නට ගියවිට  සිදු කල එකම දෙය නම් "වෙනස් කිරීම් සහ නිරීක්ෂණ" පිටුවේ
"වැලිඩිටි එක්ස්ටෙන්ඩර්ඩ් අන්ටිල්  <date> "  "මීට කොම්පිටන්ට් ඔතෝරිටි" කියා  සටහන් කර මගෙන් මුදලක් අය කර ගැනීමය.
පරණ ප්රින්ටරයකින් සලකුණු කල ඉහත වැකිය බොහෝ දෙනෙකුට නොපෙනෙන්නේය.ඉතින් ඔවුන් මගේ ගමන් බලපත අවලංගුවී ඇතැයි සිතති. ගමන් බලපත්‍රය පෙරල පෙරලා ඔවුන් යමක් සොයන අයුරු දකින මම "වැලිඩිටි එක්ස්ටෙන්ශන්" අහවල් පිටුවේයි කියමි.
 වරක් ජර්මනියේදී මගේ පිළිතුරෙන් නිලධාරියා සැහීමකට පත් වුයේ නැත.
කිසිම රටක ගමන් බලපත්‍රය ඉහත ආකාරයෙන් දීර්ඝ නොකරන බව කී ඔහු මා නිවසේදී ඉහත වැකිය ප්‍රින්ට් කර ගන්නට ඇතයි
මට චෝදනා කළේය.
මා එම රටින් පිටවන්නට සිටි නීසා  මා බියක් සැකක් නැතිව කියා සිටියේ , ලංකාවේ වැඩ කෙරෙන්නේ එසේ බවත්, අවශ්‍ය නම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කතා කර ඒ බව පරීක්ෂා කර ගන්නා ලෙසත්ය.

අපේ ගමන් බලපත්‍රයේ මුල් පිටුවේ මෙසේ වැකියක් වෙයි.

"මෙය දරන්නාට අවහිර බාධාවලින් තොරව නිදහසේ ගමන්කිරීමට සහ අවශ්‍ය වන ආධාරද ආරක්ෂාවද සලස්වා දෙනා ලෙසටත් අදාල වගකීම් දරන සියලු දෙනාගෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේජනාධිපති ඉල්ලුම්කර ද අපේක්ෂාකර ද සිටී"

අපේ ගමන් බලපත ලෝකයට ප්‍රශ්නයක් වන ලෙස සැකසුම් කොට ඉහත වැකිය යෙදු පමණින් මුළු ලෝකයම එය හිස් මුදුනින් පිළිගනීවියි අදාල බලධාරීන් සිතනවාදැයි මම නොදනිමි!

Friday 1 November 2013

දෙහිවල සත්වඋද්‍යානය

දෙහිවල සත්වඋද්‍යානය

නොයෙක් වර්ණයන්ගෙන් යුතු කරකැවෙන සුලං පෙති සහ වෙනත් සෙල්ලම් බඩු රැගෙන එන වෙළෙන්දෝ සත්ව උද්යානයට ඇතුල්වීමට සිටින පිරිසේ කුඩා ලමුන්ට ඒවා දෙති. ප්‍රමෝදයට පත්වන කුඩා උන් දැතින්ම එවා අල්ලා ගනිති.
රුපියල් හැටයි වෙළෙන්දා කියයි.
සමහරු වහාම මුදල් ගෙවා , ගෙදර සිටින ලමුන්ටත් අමතර එකකුත් ගනී. ඇතැම් මවුවරු අවසර පතා තම ස්වාමි පුරුෂයන්ගේ මුහුණ බලති. තවත් කෙනෙක් ලමයින් හඬත්දී සෙල්ලම් බඩුව උදුරාගෙන වෙළෙන්දාටම ආපසු දෙති. 
රුපියල් හැටක් යනු තවමත්  දුප්පත් දෙමව්පියන්ට විශාල මුදලක් කියා මට වැටහුණේ එවිටය.

මා අන්තිමට සත්ව උද්‍යානයට පැමිණියේ මීට වසර විසි ගණනකට කලින් නිසා එය කොතරම් වැඩි දියුණු වී ඇතිද යන්න ගැන මට අවබෝදයක් නැත. එවකට කුඩා ළමයෙක්ව සිටි මට යන්තමින් හෝ මතක මින් මැදුරේ සිටි නිල්පාට මාළුවන්ය. ඇත්තටම කිව්වොත් මට හොඳටම මතක තිබුනේ එහිදී මා කෑ "හොට් ඩෝග්" කියා අප හදුන්වන බනිස් ගෙඩිය ගැනය. 

දැන් නම් දෙහිවල සත්තු වත්ත ඉතා ලස්සනය. සත්තුන්ගේ කූඩු අලංකාර ලෙස සකස් කර තිබේ. ඔරන් ඔටන්ගේ කෙස් සියල්ලම straightening කර ඇති නිසා ඌ නම් අලුත්ම සතෙක් වගේය. ලණුවකින් එල්ලා ඇති ටයරයේ නැගී ඌ සෙල්ලම් කරන අයුරු බලන්නට වටි.
ඊට අමතරව නරබන්නන්ට ඇවිද යාමට සහා රෝද පුටු යාමට වෙනම මාර්ගයක් පවා තනා ඇත්තේය,

ඇවිදීමෙන් වෙහෙසට පත් අපි සවස තුන පමණ වන විට මුහුදු සිංහ සංදර්ශනය පෙන්වන තැනට පැමිණියෙමු. සංදර්ශණය පටන් ගන්නේ හතරට නිසා එය හොඳින් දිස්වන තැනක අපි වාඩිවීමට අපට හැකි විය. මුහුදු සිංහයා සිටින ජලාශය ආරක්‍ෂිත යකඩ වැටකින් වටකර තිබේ. ඒ වැටත් ජලාශයත් අතර තණකොළ සහිත බිම් කඩකි.  මෙකී කම්බි වැටටත් අඩි දෙකකින් පමණ දුරකින් නරබන්නන්ට වාඩිවියහැකි සර්පිලාකාර සිමෙන්ති බැමි සකසා ඇත්තේ.

සවස හතරට ආසන්න වනවිට මේ එළිමහන් රංග පීඨය සෙනගින් පිරී ඉතිරී තිබුණි. ටික වෙලාවකට පසු ලංකාවේ ජාත්‍යන්තර පාසල් යයි හඳුන්වන පාසලක ළමුන් පිරිසක් එහි ඇතුල්වූහ. මේ ළමයින්ට හිදගනීමට එහි ඉඩක් නැත. ඉතින් මේ ළමුන්ගේ ගුරුවරු ළමයින්ව අර ආරක්‍ෂිත වැට මත වාඩි කරවූහ.සිමෙන්ති ආසන මැද මෙතෙක් වේලා හිඳගෙන සිටි අනෙකුත් ළමයින් මේ නිසා කලබල වුහ. ඔවුන්ගේ දර්ශන පථය අවහිරද වී තිබේ. ඔවුනුත්ඉහත පාසලේ ළමුන් මෙන් වැට ලගටම ගාල් වූහ.
ඒ අතර සිටි එක ළමයෙක් වැටත් උඩින් පැන ගොස් , වැටත් ජලාශයත් අතර තණකොළ බිස්සමත වාඩිවිය. බොහෝ අය ඔහු අනුගමනය කලහ.සමහර වැඩිහිටියොත් ගොසින් වැට අසලින්ම හිට ගත්තෝය.

සංදර්ශනය පටන්ගැනීමට කලින් පැමිණ පිටුපසින් අසුන්ගෙන සිටි වැඩි දෙනෙකුට පෙනුණේ ඔවුන්ට ඉදිරියෙන් සිටි මිනිසුන්ගේ හිස් ගෙඩි  පමණි. සංදර්ශනය මෙහෙයවන්නා මෙසේ කීවේය.
" අපිට හරිම සතුටුයි ඉස්කොලේ යන මේ පොඩි ළමයින්ට යමක් කියල දෙන්න." එසේ දේශනය පටන් ගත ඔහු මුහුදු සිංහයා ගැනත් , උගේ වයස, දත් ආදිය ගැන ළමුන්ට විස්තර කළේය. නමුත් මුහුදු සිංහයා සිටින ජලාශය වටා ඇති වැට ගැනවත්, එය ඇත්තේ ළමයින්ගේ ආරක්ෂාවට නිසා එය මත වාඩිවීම හෝ එය පසුකර ජලාශයේ බැම්ම ලඟට පැමිණීමේ භයානක කම ගැන ඔහුටවත් අනෙක් දෙමව්පියන්ටවත් වගක් නොවීය.

"හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි" යනු ලංකාවට ආගන්තුක දේ බව සැබෑය. නමුත් අපේ දරුවන්ට හොඳ නරක කියා දීමට සිටින ගුරුවරුන්ට සහ දෙමවුපියන්ට මේවා නොවැටහීම ඉතා කණගාටුදායකය.
 සංයමයක් නැති කමේ විපාක අපි සැමදාම අත් විඳිමු. පාරේ රථයක් එලවන විටද, කඩයකින් බඩු ගන්නට,  බැංකුවක පෝලිමේ සිටින විටද අපි එය අත් දකිමු. අපට කලින් පැමිණි තැනැත්තාට ප්‍රමුඛත්වය දිය යුතුය යන්න අප උවමනාවෙන්ම අමතක කරදමා තිබේ.
එදිරියටත් එය වෙනස්වන බවක් නම් මම නොදකිමි!


Thursday 17 October 2013

හිඟන්නා


කුඩා කල අම්මා හෝ  තාත්තා සමග බසයේ යනවිට හිඟන්නන් බොහෝ දැක ඇති නමුත් ඔවුන් පිළිබඳව මගේ මතකයේ හොඳින් සටහන් වන්නේ ම පාසලේ හය වැනි වසරේ ඉගෙනුම ලබමන අවදියේය.
එකල ඇස්වාට්ටුව හන්දියේ සිට පිළියන්දලට  120 බසයේ පැමිණෙන මා 162 බණ්ඩාරගම බසයට නගිනතුරු බොහොදුරට ඉඳගැනීමට බසයේ අසුනක් නොලැබෙන්නේය.
එන්ජිම නැවතුවොත් යලි පණගැන්විය නොහැකි බණ්ඩාරගමට දුවන ලංගම බස් රථයේ සෙනග පිරෙනතුරු එකා පසුපස එකා බැගින් බසයට නගින  හිඟන්නන්ගේද , විරිදු කාරයන්ගේද අදෝනාව බසයේ එන්ජිමේ ගෝශාව සමග එකල මට නිතරම ඇසන්නට ලැබුණි.
බස් ගාස්තුවෙන් රුපියල් දෙකක් ඉතිරි කරගත්තොත් රටකජු කඩයෙන් රටකජු කෑ හැකි බැවින් මේ බොරු කියන හිගන්නන්ට සතයක් වත් නොදී ඉන්නට මම තරයේ හිතා ගනිමි.
කෙසේ උවත් දෙවෙනි හෝ තුන්වෙනි හිගන්නාගේ දුක්ගැනවිල්ල හමුවේ හිත උණුවන මම අතේ ඉතිරු රුපියලක් හෝ සත පනහක් වෙතොත් එය ඔහුට දෙමි.ඉතින් රටකජු කන්නට මට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

හිගන්නන් ගැන මට ඇති අප්‍රසන්නම අත්දැකීම ම ලැබුවේ මා විශ්ව විද්‍යාල ශිෂ්යයෙකුව සිටි කාලයේදීය.
බසයට නැගුණු තරුණ පෙනුමක් ඇති සාමාන්‍ය ලෙස ඇඳ පැළඳ සිටි පුද්ගලයෙක් ජයවර්ධනපුර රෝහලේ ඉගෙනුම ලබන හතර හැවිරිදි දරුවාට අවශ්‍ය හදිසි ශල්‍යකර්මය සඳහා මුදල් සොයමින් සිටියේය.
තවත් දවස් දෙකකින් කරන්නට නියමිත ශල්‍යකර්මයට තවත් රුපියල් තිස්දහසක් මදි නිසා ඔහුට බසයේ අත පාන්නට සිදුවී තිබේ. වෛද්‍ය සහතික ඇතුළු නොයෙක් ලියකියවිලි රැසක් ඔහු අතේය.

මා වහාම මගේ මුදල් පසුම්බිය හැර බැලුවෙමි.හරියට රුපියල් එකසිය දහඅටක් එහි තිබුණි.මෙය නම් බල සිටිය යුතු මොහොතක් නොවේ. මම රුපියල් සියයේ කොලය ඔහුට දුනිමි.බසයේ සිටි බොහෝ දෙනා තමන්ට හැකි පමණින් උදව් කලහ.මුදල් නෝට්ටු වලින් ඔහුගේ දෑත පිරී තිබිණි. මම සැනසුම් සුසුමක් හෙලුවෙමි. දරුවාගේ ශල්‍යකර්මය සාර්ථක වේවා!

ඊට‍ හරියට සති තුනකට පසු මට මේ මිනිසා නැවතත් හමුවිය.
ඒ සුවපත්වූ දරුවා සමග නම් නොවේ. ඔහු කලින් වතාවේ කල රඟපෑම නැවතත් කරමින් සිටියේ තවත් දින දෙකකින් ඇති දරුවාගේ "සැත්කම" සඳහාය.මගේ කණ රත්වීගෙන එනු මට දැනුණි. මට දුක සිතුනේ සරසවි සිසුවෙකුවූ මට රුපියල් සීයක් යනු විශාල මුදලක් වූ නිසාම නොවේ, මා ඇතුළු බසයේ සිටි මිනිසුන්ගේ අභ්‍යන්තරයේ ඇති කරුණාව සහ අනුන්ගේ දුකෙහි දී සිත් උණුවන ගතියට මොහු වංචා කරන බැවිනි.
මා හිතන විදිහට එය හොරකමකට වඩා අකුසල් උපදවන කාරණයක් වනු ඇත.
මේ සිද්දියෙන් පසු හිඟන්නන් යනු වන්චාකරුවන්ය යන හැගීමක් මගේ යටි සිතේ තැන්පත් විය.

වසර කීපයකට පසු මම අධ්‍යාපන කටයුතු නිමකර රැකියාවක් කරන අවදියේ මගේ මිතුරෙකු එනතුරු ටවුන්හෝල් එක ළඟ බල සිටියෙමි.කිසිවෙක් මෝටර්රථයේ වීදුරුවට තට්ටු කරනු ඇසීමෙන් මම මා එදෙස බැලුවෙමි. එහි සිටියේ පොඩිවුන ඇඳුමෙන් සැරසුණු යුවලක් සහා දරුවන් දෙදෙනෙකි.
එහිසිටි පිරිමියා කියා සිටියේ දරුවන්ට බඩගිනි බැවින් කන්නට යමක් දෙනා ලෙසය.
 කුමක් හෝ හේතුවක් නිසා ඔවුන්හට මුදල් දීමට මට සිතුනේ නැත. ඒ වෙනුවට මම ඒ පිරිස "රාහුමනියා" හෝටලයට කැඳවාගෙන ගොස් අවශ්‍ය දෙයක් කන ලෙසත් සියලු මුදල් මා ගෙවන බවටත් කවුන්ටරයේ සිටි තැනැත්තාට කීවෙමි.
දරුවන් ඉල්ලා සිටියේ පැණිරස කෑම සහා පැණි බීම පමණි.ඔව්න්ගේ මව ඔවුන්ට බත් කන ලෙස  කීවත් උන් බත් එපා කීහ.ඒ මව සිසිල් බීම පමණක් පානය කල අතර, පියා කීවේ ළමුන්ට කෑම දීම් සැහෙන බවත් ඔහුට කිසිවක් අනවශ්‍ය බවත්ය.
මා පෙරැත්ත කලත් ඔහු කිසිවක් නොකෑ අතර මට මුව නොසෑහෙන පරිදි පින් දුන්නේය. මේ මිනිසා ගැන මගේ හිත අනුකම්පාවෙන් පිරුණු අතර ඇසට කඳුළු නැංවීය.
මගේ මිතුරා දුරකථන ඇමතුමක් දුන් බැවින්  මා බිල්පත ගෙවා දමා එතනින් ඉවත්වීමි.

අදත් යම් කිසි කෙනෙකු මුදල් ඉල්ලනු දුටුවොත් දරුවාගේ ශල්‍යකර්මයට මුදල් එකතු කල වංචාකාරයාගේ මුහුණත්, රාහුමානිය හෝටලයේදී මා දුටු පියාගේ අව්‍යජාවත් මුහුණත් මගේ සිතේ විදුලියක් මෙන් ඇදෙන්නේය.
ඒ හැම එකෙකුටම දුක් ගැනවිල්ලක් ඇත්තේය. එහි ඇත්ත නැත්ත මට කුමටද ?මැදිහත් සිතින් මා කීයක් හෝ ඔවුන්ට දෙන්නෙමි.