Monday 12 May 2014

අපේ හැටි හෙවත් සංස්කෘතිය

 මීට මාස අටකට පමණ පෙර මම පිළියන්දල නගරයේ නිමි ඇඳුම් සාප්පුවක මුදල් ගෙවන කවුන්ටරය අසල මගේ වාරය එනතුරු බලා සිටියෙමි.
පෝලිමේ මට ඉදිරියෙන් එක්  අයකු සිටි අතර පසුපසින් තවත් දෙදෙනක් වුහ. කවුන්ටරය අසල මාසිටි ස්ථානයේ කුඩා සෙල්ලම්බඩු හා විසිතුරු භාණ්ඩ තබා තිබුණි.
වේලාව  පස්වරු තුනට පමණ වූ අතර පාසල් ගුරුවරියක් යයි සිතියහැකි සාරියකින් සැරසුණු මැදිවයස ඉක්මවූ කාන්තාවක් ඇඳුම් කීපයක් රැගෙන මා  සිටි තැනට පැමිණ විසිතුරු භාණ්ඩ පරික්ෂා කරන පරිද්දෙන් මදවේලාවක්  ඒ දෙස බලා සිට එක්වරම මා ඉදිරියෙන් පෝලිම පැන , ඒ වනවිටත් පළමු පාරිභෝගිකයාට සේවා සපයමින් සිටි අයකැමිවරයාට තමා  රැගෙන ආ ඇඳුම් ටික දෙන්නට උත්සාහ කලාය .

ඇගේ  ක්‍රියාව ගැන මට ඇතිවුයේ  කෝපයකට වඩා , කනගාටුවකි . ඒ ඇය  සම්භන්ධයෙන් නොව ඇයගෙන් ඉගෙනගන්නවා ඇතැයි මා සිතූ සිසු සිසුවියන් ගැනය.
මේ පෝලිම් පැනීමේ කලාව  ආසියාතිකයන්ට සංස්කෘතියෙන්ම හිමිවුවක්  යයි මම සිතමි.

එක : 
ඔබ රජයේ රෝහලක වෛද්‍යවරයෙකි. හොඳම මිතුරෙකු ඔබට දුරකථන ඇමතුමක් දී කියන්නේ හදිසියේ අසනීපවූ  මිතුරාගේ මව රෝහලට ඇතුලත් කල බවයි. 
ඔබ උසස් පෙළ සඳහා මිතුරා  සමග පාඩම් කරද්දී කෑම බීම සපයා  ඔබේ මව මෙන් ඔබට සැලකුයේ ඇයයි.  මිතුරාගේ මව බැලීම පිණිස ඔබ වහාම යනයන අතර රෝගියාගේ වෛද්‍ය ලියවිලි පරීක්ෂා කල පසු ඔබට වැටහෙන්නේ ඇයට  ක්ලාන්ත තත්වයක් ඇතිවී  ඇති නමුත් කිසිම අසනීපයක් නොමැති බවයි.කෙසේ උවත් වැඩි දුර පරීක්ෂාව සඳහා මිතුරාගේ  මව රෝහලේ රඳවාගෙන ඔබට කළහැකි සියලුම ඇප උපස්ථාන කිරීමට  ඔබට කටයුතු කරයි.
මේ අතරම රෝහලේ  ඇඳන්  නොමැති කමින්  තමන්ට ඇඳක් ලැබෙනතුරු සිමෙන්ති  පොළොවේ සති ගණන් සිටින අසාද්‍ය සහ අහිංසක රෝගීහුද  සිතිති.

දෙක :
ඔබ සේවය කරන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේය. රාජකාරි කරන කන්තෝරුවේ  වීදුරු දොරින් ඔබට පෙනෙන්නේ තම විශ්‍රාම වැටුප සාදා  ගැනීමට පැමිණි විශ්‍රාම ලත් රජයේ සේවක පිරිසය.පෝලිමේ පිටිපසින්ම  සිටින්නා තරමක් දැක පුරුදු යයි ඔබට හැඟේ.
විදුලියක් මෙන් නැගී සිටින ඔබ වහා  එහි යයි. මේ  "සෝමරත්න  සර්  නේද ? " ඔබ විමසයි.  සෝමරත්න  සර්ගේ  මුහුණ ආලෝකමත් වෙයි.
මේ ඔබ පාසල් යනකාලයේදී ඔබට ඉගැන්වූ ඔබේ ප්‍රියතම ගුරුවරයාය. මගේ පැන්සන් එක හදා  ගන්න ආවා  ඔහු පවසයි.
ගුරුවරයා කාර්යාලය තුලටම  කැඳවාගෙන යන ඔබ ඔහුගේ  කටයුත්ත වහා  ඉටු කරදෙයි.
මහත් සතුටට පත්වන ඔබගේ පැරණි ගුරුවරයා ගෙදර ගොස් පවසන්නේ "මගේ ගොලයෙක්ව හම්බවෙච්ච නිසා වැඩේ එක දවසෙන්ම කරගත්තා " කියා යි.නමුත් බොහෝ විශ්‍රාමිකයන් මාස  ගණනාවක් තිස්සේ හත් අට වරක්ම විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ රස්තියාදු වන්නේ මේ කාර්යය සඳහාමය.


තුන :
හදිසි රාජකාරි කටයුත්තකට විදේශ ගතවීමට ඔබට සිදුවේ. ගමන් බලපත්‍රය පරීක්ෂා කලවිට ඔබට පෙනී යන්නේ එය මාස දෙකකින් කල් ඉකුත්වන බවයි.ඉක්මනින්ම වීසා අයදුම් කලයුතු  නිසා ගමන් බලපත්‍රය අලුත් කරගත යුතුය. ඔබ වහාම ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මිතුරෙකු හමුවන අතර මිනිත්තු පහකින් පමණ එය ඉටුකරදීමට ඔබේ මිතුරා සමත්වේ.
මේ අතරම ගෘහ සේවිකා රැකියාවකට යාමට බලපත්‍රය අලුත් කරගැනීමට පැමිණි කෙනෙකුන් පැය ගණනක් ඒ සඳහා බලා  සිටී.

දෙමවුපියන්ට, ගුරුවරුන්ට හා නෑ හිතමිතුරන්ට සැලකීම  අපේ සංස්කෘතියේ මුලික හරයන්ය.ඒ නිසා ඉහත සිද්ධි තුනේදීම ඔබ කරන්නේ ඉතාම සත්පුරුෂ  ක්‍රියාවන් ලෙස බොහෝ දෙනෙකුට පෙනෙනු ඇත . අනෙක් අතට මිතුරන් සමග නම් අන්‍යෝන්‍ය උපකාරද  කරගත හැක. 

කාර්යාල සහායකයන්  ආදී පහළ  ශ්‍රේණි වල සේවකයන්ට මේ අන්‍යෝන්‍ය  උපකාර කිරීමේ වාසිය පමණක් නොසැහේ. ඒ නිසාම ඔවුන් මිනිසුන්ගෙන් මුදල් (පගාව) ගෙන ඒ සඳහා කරණ ප්‍රති උපකාරකයක් වශයෙන් අවශ්‍යතාවන් කඩිනමින් කරදෙනු ලැබේ.

අප හැමටම අපේ කාලය අගනේය. ඒ නිසා දන්නා හඳුනන පුද්ගලයන් ලවා වැඩ ඉක්මනින් කරවා  ගන්නට අපි  වෙහෙසවෙමු. පෝලිම පැන වැඩකර ගත්තොත් එය සමාජ සාධාරණයට පටහැණි  නිසා කොතරම් රස්තියාදු උනත් මම නම් එය නොකරමි'යි කියාගන්නා  කිසිවෙකුත් මා දැක නැත .
අනෙක් අතට මිතුරෙක් හෝ අසල්වැසියෙක් ඔබෙන් එවැනි උදව්වක් ඉල්ලු විට , අනෙක් අය මෙන් පෝලිමේ පැමිණ එය කරගන්නට නොහැකි ඇයි දැයි 
ඇසුවොත් ඔබ ගුටිකනු  නොඅනුමානය.

ඔබට  හිතවත් පොලිස් නිලධාරීන් ,අධිකරණ විනිසුරුවන් ආදීන් සිටීනම් නීතියේ රාමුව තුල ඔබට වාසි සහගත උපකාර ලබාදීමට ඔවුන් පසුබට නොවනු ඇත. මේවා අන්‍යොන්‍ය  උපකාර වශයෙන්  හෝ  මුදලට කරන උපකාර විය හැක 

 මුදල්ද , හිතවතුන්ද නොමැති උන්ට සමාජ අසාධාරණය ලෙස පෙනුනත් මේවා අපගේ සංස්කෘතික අංගයන්ය. සමාජ සාධාරණය පතන්නෝ මුලින්ම හිත මිතුරන්ගෙන්  රාජකාරීමය කටයුතු සඳහා උදවු ගැනීම නතර කලයුතුය.විප්ලවවලින් මේවා වෙනස් කල නොහැක!


Saturday 1 March 2014

අනුකරණය



මීට අවුරුදු දහයකට හෝ දොළහකට පමණ පෙර දකුණු පළාතේ  සිට පැමිණි මිනිසෙකු  අපේ ගමේ වසා දමා තිබුණු කඩ කාමරයක් කුලියට ගෙන  කුඩා වෙළඳසලක් හෙවත් කඩයක් ආරම්භ කළේය. අපේ නිවසේ සිට  මේ  කඩයට  කිලෝමීටරයක පමණ දුරක් තිබුන අතර ඒ අතරමැද තවත් වෙළඳසල් දෙකකි. ඉඳහිට පාන් ගෙඩියක් ගැනීමට  යන මා සැමවිටම  ළඟම ඇති කඩයෙන් එය මිලදී ගන්නා  බැවින් ඉහත කී වෙළඳ සලට යාමට අවශ්‍යතාවක් තිබුණේ  නැත. එක්  සෙනසුරාදාවක මදක් ප්‍රමාද වී පාන් ගැනීමට ගිය මට  මුල් වෙළඳසැල්  වල පාන් විකිණී අවසන්ව තිබීම නිසා මෙකී වෙළඳ සැල  වෙත යාමට සිදුවිය. අවාසනාවකට එහිද පාන් නොවූ නමුත්  වෙළෙන්දා හෙවත් කඩයේ මුදලාලි මා මවිතයට පත් කරවන වැඩක් කළේය.මට මද වේලාවක් එහි සිටින ලෙස පැවසූ  මුදලාලි ඔහුගේ පුතාව පා පැදියකින්  කොහේදෝ යැවීය.මිනිත්තු පහකින් හෝ දහයකින් පමණ මේ ළමයා වෙනත් කඩයකින් පාන් ගෙඩි දෙකක් රැගෙන පැමිණි අතර ඉන් එකක් මට ලැබුණි. තම කඩයට මුල් වරට පැමිණි පාරිභෝගිකයකු හිස් අතින් හරවා හැරීම නොකලයුතු බව ඔහු සිතුවා විය යුතුය.මයිකල් පොටර්  (Michael Porter )ගේ සිද්ධාන්ත නොකියව්වද  වෙළදාමට මොහු අති  ශූරයකු බව මට හැඟී ගියේය.
අවුරුද්දක් පමණ යනවිට මේ වෙළඳ සැල ඉතා දියුණු එකක් බවට පත්වුණු අතර මුදලාලිද ගමේ ප්‍රභූවරයෙකු බවට පත් විය. ඔහු අත ගැසූ වැඩක් සාර්ථකව ඉටුවන බව ඇදහු ගැමියෝ තම උත්සව වලදී ඔහු ප්‍රධාන ආරාධිතයා කර ගත්හ.
වසර කීපයක් ගතවුණු තැන කඩයේ දියුණුව දුටු  කඩ කාමරයේ හිමිකරු , මේ වෙළෙන්දාව ඉතැනින් ඉවත්කර එම ස්ථානයේ වෙළඳ සැලක් ආරම්භ කළේය. වෙළදාමට අවශ්‍ය මුලික දක්ෂතාවයද , ගම් වලදී  අවශ්‍යවන නයටදීම හා ණයකරුවන් අමනාප නොවන පරිදි එය අයකර ගැනීමට උවමනා  කරන නුවණ ද  නැති අලුත් වෙළෙන්දාගේ කඩය මාස හයක් පමණ යන්විටම බංකොලොත් වී ගියේය.

මා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදී , 255 ප්‍රධාන මාර්ගයේ බොල්ගොඩ පාලම පසුකල විටම , "ඇට  නැති මිදී" යනුවෙන් කාඩ්බෝර්ඩ් පුවරුවක් තබාගත් මිනිසෙකු මිදී වෙලදාම් කරන්නට පටන් ගත්තේය. දිනපතා එම ස්ථානය පසුකර බසයෙන් යන මම  මෝටර් රථ වල යන මහත්වරුන් මේ වෙළෙන්දාගෙන් මිදී මිලයට ගනු දකිමි.සති කීපයක් යනවිට වෙළෙන්දා දොඩම්ද, අඹ ද ,වෙනත් පලතුරුද විකුණන්නට පටන් ගත්තේය. මේ වෙළදාමේ ප්‍රගතිය දුටු සමහරුන් ඔහු අනුකරණය කරන්නට පටන් ගත අතර මාසයක් පමණ වන විට මග දෙපස පලතුරු කඩ වලින් වැසි ගීයේය. ඉල්ලුමට වඩා සැපයුම ඉතා ඉහල වුනු නිසා තවත් මාසයකින් පමණ පසු කිසිම වෙළෙන්දෙක් එහි නොමැති විය.

මට හිතෙන්නේ  ඉහත සිදදීන් දෙක අපගේ ශ්‍රී ලාංකීය සමාජය ගැන ඉතාම හොඳ ඉඟියක් ලබාදෙන බවයි. අදටත් බොහෝදෙනා බොහෝ දේ සිදුකරන්නේ තමන්ගේ උවමනාවට වඩා අනුකරණයක් වශයෙනි. හොඳ දේ අනුකරණය කිරීමෙන් හොඳක් සිදුවන නමුත් පුදුමය වන්නේ මේ අනුකරනයන් ඉතාම නරක දේවල් සඳහාද එකලෙස ක්‍රියාත්මක වීමය.

මීට අවුරුදු දෙකකට  පමණ පෙර මුළු ශරීරයේම ග්‍රීස් තවරා ගත් නිරුවත් මිනිසෙකු, රාත්‍රියේ නිවාස වලට පැමිණීම ගැන පුවතක් පලවිය.සති කීපයක් ගතවන විටම ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් මේ ග්‍රීස් යකුන් පිළිබඳව  වාර්තා වුන අතර, රාත්‍රියේ වැඩ ඇරී  ගෙදර එන මිනිසුන් ග්‍රීස් යකුන් යි  වරදවා වටහාගෙන කල පහරදීම් පවා බහුලවිය.

අනුකරණය පිළිබඳව ජුගුප්සාජනකම සිද්ධිය මා  ඇසුවේ රත්නපුර කහවත්ත කොටකෙහෙන (හරියටම ගමේ නම මතක නැත) ප්‍රදේශයෙනි. අවුරුද්දකට පමණ පෙර අදාල ප්‍රදේශයේ සිටි ඉතා වයස්ගත කාන්තාවක , එක්  අමනයෙකු විසින් දුෂණය කර මරා දැමුණු අතර ඊ  ළඟ මාස තුන තුලදී රත්නපුරයේ එවැනි සිදුවීම් දහයක් පමණ සිදුවූන  අතර මිනිස්සු භීතියට පත්ව සිටියහ.

දැන් ලංකාවේ අලුත්ම අනුකරණ රැල්ල සියදිවි නසා ගැනීමය. පාසලේ විදුහල්පති බැනීම නිසාද, දෙමව්පියන් ජංගම දුරකථනය භාවිතා කරන්නට නොදුන් නිසාද , සපත්තු දෙකක් ගැනීමට සල්ලි නොමැති නිසාද වශයෙන් තරුණ පාසල් සිසු/සිසුවියන් දිවිනසා ගැනීම පටන් ගෙන තිබේ. සියල්ලෝම ඒ සඳහා සාරි පාවිචි කරති.
මේවා අසා අප හැඩිය යුතු දැයි මම නොදනිමි.නමුත් අදාල සිදුවීම්වල වගකීම එක් පාර්ශවයකට පමණක් බැර කල නොහැකි බව නම් සහතිකය.