Saturday 1 March 2014

අනුකරණය



මීට අවුරුදු දහයකට හෝ දොළහකට පමණ පෙර දකුණු පළාතේ  සිට පැමිණි මිනිසෙකු  අපේ ගමේ වසා දමා තිබුණු කඩ කාමරයක් කුලියට ගෙන  කුඩා වෙළඳසලක් හෙවත් කඩයක් ආරම්භ කළේය. අපේ නිවසේ සිට  මේ  කඩයට  කිලෝමීටරයක පමණ දුරක් තිබුන අතර ඒ අතරමැද තවත් වෙළඳසල් දෙකකි. ඉඳහිට පාන් ගෙඩියක් ගැනීමට  යන මා සැමවිටම  ළඟම ඇති කඩයෙන් එය මිලදී ගන්නා  බැවින් ඉහත කී වෙළඳ සලට යාමට අවශ්‍යතාවක් තිබුණේ  නැත. එක්  සෙනසුරාදාවක මදක් ප්‍රමාද වී පාන් ගැනීමට ගිය මට  මුල් වෙළඳසැල්  වල පාන් විකිණී අවසන්ව තිබීම නිසා මෙකී වෙළඳ සැල  වෙත යාමට සිදුවිය. අවාසනාවකට එහිද පාන් නොවූ නමුත්  වෙළෙන්දා හෙවත් කඩයේ මුදලාලි මා මවිතයට පත් කරවන වැඩක් කළේය.මට මද වේලාවක් එහි සිටින ලෙස පැවසූ  මුදලාලි ඔහුගේ පුතාව පා පැදියකින්  කොහේදෝ යැවීය.මිනිත්තු පහකින් හෝ දහයකින් පමණ මේ ළමයා වෙනත් කඩයකින් පාන් ගෙඩි දෙකක් රැගෙන පැමිණි අතර ඉන් එකක් මට ලැබුණි. තම කඩයට මුල් වරට පැමිණි පාරිභෝගිකයකු හිස් අතින් හරවා හැරීම නොකලයුතු බව ඔහු සිතුවා විය යුතුය.මයිකල් පොටර්  (Michael Porter )ගේ සිද්ධාන්ත නොකියව්වද  වෙළදාමට මොහු අති  ශූරයකු බව මට හැඟී ගියේය.
අවුරුද්දක් පමණ යනවිට මේ වෙළඳ සැල ඉතා දියුණු එකක් බවට පත්වුණු අතර මුදලාලිද ගමේ ප්‍රභූවරයෙකු බවට පත් විය. ඔහු අත ගැසූ වැඩක් සාර්ථකව ඉටුවන බව ඇදහු ගැමියෝ තම උත්සව වලදී ඔහු ප්‍රධාන ආරාධිතයා කර ගත්හ.
වසර කීපයක් ගතවුණු තැන කඩයේ දියුණුව දුටු  කඩ කාමරයේ හිමිකරු , මේ වෙළෙන්දාව ඉතැනින් ඉවත්කර එම ස්ථානයේ වෙළඳ සැලක් ආරම්භ කළේය. වෙළදාමට අවශ්‍ය මුලික දක්ෂතාවයද , ගම් වලදී  අවශ්‍යවන නයටදීම හා ණයකරුවන් අමනාප නොවන පරිදි එය අයකර ගැනීමට උවමනා  කරන නුවණ ද  නැති අලුත් වෙළෙන්දාගේ කඩය මාස හයක් පමණ යන්විටම බංකොලොත් වී ගියේය.

මා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදී , 255 ප්‍රධාන මාර්ගයේ බොල්ගොඩ පාලම පසුකල විටම , "ඇට  නැති මිදී" යනුවෙන් කාඩ්බෝර්ඩ් පුවරුවක් තබාගත් මිනිසෙකු මිදී වෙලදාම් කරන්නට පටන් ගත්තේය. දිනපතා එම ස්ථානය පසුකර බසයෙන් යන මම  මෝටර් රථ වල යන මහත්වරුන් මේ වෙළෙන්දාගෙන් මිදී මිලයට ගනු දකිමි.සති කීපයක් යනවිට වෙළෙන්දා දොඩම්ද, අඹ ද ,වෙනත් පලතුරුද විකුණන්නට පටන් ගත්තේය. මේ වෙළදාමේ ප්‍රගතිය දුටු සමහරුන් ඔහු අනුකරණය කරන්නට පටන් ගත අතර මාසයක් පමණ වන විට මග දෙපස පලතුරු කඩ වලින් වැසි ගීයේය. ඉල්ලුමට වඩා සැපයුම ඉතා ඉහල වුනු නිසා තවත් මාසයකින් පමණ පසු කිසිම වෙළෙන්දෙක් එහි නොමැති විය.

මට හිතෙන්නේ  ඉහත සිදදීන් දෙක අපගේ ශ්‍රී ලාංකීය සමාජය ගැන ඉතාම හොඳ ඉඟියක් ලබාදෙන බවයි. අදටත් බොහෝදෙනා බොහෝ දේ සිදුකරන්නේ තමන්ගේ උවමනාවට වඩා අනුකරණයක් වශයෙනි. හොඳ දේ අනුකරණය කිරීමෙන් හොඳක් සිදුවන නමුත් පුදුමය වන්නේ මේ අනුකරනයන් ඉතාම නරක දේවල් සඳහාද එකලෙස ක්‍රියාත්මක වීමය.

මීට අවුරුදු දෙකකට  පමණ පෙර මුළු ශරීරයේම ග්‍රීස් තවරා ගත් නිරුවත් මිනිසෙකු, රාත්‍රියේ නිවාස වලට පැමිණීම ගැන පුවතක් පලවිය.සති කීපයක් ගතවන විටම ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් මේ ග්‍රීස් යකුන් පිළිබඳව  වාර්තා වුන අතර, රාත්‍රියේ වැඩ ඇරී  ගෙදර එන මිනිසුන් ග්‍රීස් යකුන් යි  වරදවා වටහාගෙන කල පහරදීම් පවා බහුලවිය.

අනුකරණය පිළිබඳව ජුගුප්සාජනකම සිද්ධිය මා  ඇසුවේ රත්නපුර කහවත්ත කොටකෙහෙන (හරියටම ගමේ නම මතක නැත) ප්‍රදේශයෙනි. අවුරුද්දකට පමණ පෙර අදාල ප්‍රදේශයේ සිටි ඉතා වයස්ගත කාන්තාවක , එක්  අමනයෙකු විසින් දුෂණය කර මරා දැමුණු අතර ඊ  ළඟ මාස තුන තුලදී රත්නපුරයේ එවැනි සිදුවීම් දහයක් පමණ සිදුවූන  අතර මිනිස්සු භීතියට පත්ව සිටියහ.

දැන් ලංකාවේ අලුත්ම අනුකරණ රැල්ල සියදිවි නසා ගැනීමය. පාසලේ විදුහල්පති බැනීම නිසාද, දෙමව්පියන් ජංගම දුරකථනය භාවිතා කරන්නට නොදුන් නිසාද , සපත්තු දෙකක් ගැනීමට සල්ලි නොමැති නිසාද වශයෙන් තරුණ පාසල් සිසු/සිසුවියන් දිවිනසා ගැනීම පටන් ගෙන තිබේ. සියල්ලෝම ඒ සඳහා සාරි පාවිචි කරති.
මේවා අසා අප හැඩිය යුතු දැයි මම නොදනිමි.නමුත් අදාල සිදුවීම්වල වගකීම එක් පාර්ශවයකට පමණක් බැර කල නොහැකි බව නම් සහතිකය.