Friday, 22 November 2013

පාස්පෝට්

පාස්පෝට්

මට මේ සටහන් ලියන්නට හිතුනේ  "හෙන්ලේ ඇන්ඩ් පාට්නර්" නමැති උපදේශකසේවා  සපයන සමාගම මීට මාස දෙකකට පමණ වර්ගීකරණය කල ලෝකයේ හොඳම සහ නරකම පාස්පෝට් ලැයිස්තුව දුටු විටය.
එයට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය යනු ලෝකයේ නරකම පාස්පෝට් නමයෙන් එකකි.

අපේ ගමන් බලපත්‍රය එතරම් පහත තැනක තැබීම ගැන අපට වෙනම විවේචනයක් ඇතත් ලාංකීය පාස්පෝට් එකක් දරා සිටීම නිසා විඳින්නට වෙන ගැහැට ගැන මම අත්දැකීමෙන්ම දනිමි.

මා මුලින්ම පිටරටකට ගියේ සති තුනක හෝ හතරක රැකියා පුහුණුවක් සඳහා මැලේසියාවටය. මා සේවය කල ඒ චීන සමාගමේ සේවය කලේ සේවකයන් කීප දෙනෙකු පමණක් බැවින් මගේ ප්‍රධානියා මා  සති හතරක් රටෙන් පිටවීම ගැන සතුටට පත්වුයේ නැත.එවකට ගුවන් යානයක ගමන් කර නොතිබුණු මම මේ ගමන ගැනමහත් ආසාවෙන් පසුඋනෙමි.
අවසානයේ මගේ ප්‍රධානියා එකගවුයේ  ටිකට් පතේ ආපසු පැමිණෙන දිනය විවුර්ථව තබාගෙන යන ලෙසටත් , ශ්‍රී ලංකා කාර්යාලයට මගේ සේවය අවශ්‍ය උනොත් පුහුණුව අතර මග නවතා වහාම ලංකාවට පැමිණෙන ලෙසටත් මා එකඟ කරවා ගෙනය.

මැලේසියානු ආගමන විගමන නිලධාරීන්ගෙන් මට සුහද පිළිගැනීමක් ලැබුණේ නැත.විවුර්ථ (unconfirmed) ටිකට් එකක් නිසා මා රටින් පිටවන දිනය ගැන ඔවුන්ට විශ්වාසයක් නැති බවත් වහාම ශ්‍රී ලන්කන් එයාර් ලයින් කවුන්ටරය වෙත ගොස්  ආපසු යන දිනය සහතික කරගෙන එන ලෙසත් ඔවුන් මට කීහ.
මෙය පැහැදිලිවම මගේ වරදකි. මම වහාම අදාල ස්ථානය සොයා ගියෙමි.
මගේ අවාසනාවට ශ්‍රී ලන්කන් එයාර් ලයින් කවුන්ටරය ඒ වන විටත් වසා අවසන්ය. එය විවුර්තව පවතින්නේ පැයක කාලයක් පමණක් බව එහි තොරතුරු කවුන්ටරයක සිටි කෙනෙක් මා සමග පැවසුහ.
ඉතින් මම ආපසු ආගමන විගමන නිලධාරීන් වෙත ගොස් ඒ බව සැලකර සිටියෙමි.

නිලධාරීහු ඔවුන්ගේ ඉහල නිළධාරිනියට මා ගැන වාර්තා කලහ.ඔවුන් කතා බස් කළේ මැලේසියානු  භාෂාව නමුත් මට වැටහුණේ ඇය මා රටට ඇතුල්වීම පිළිබඳව අකමැත්තක් නොමැති බවකි. අවසානයේ ඇය මගේ ගමන් බලපත්‍රය ගැන විමසා සිටියාය. "ආ.... ශ්‍රී ලන්කන් " ඇය මා වෙතට ආවාය. මම සිනහවකින් ඇයට සංග්‍රහ කලෙමි.
"ඔබ අර බංකුවේ හෙට මේ වෙලාව වෙනකන් නිදාගෙන ඉඳලා, ශ්‍රී ලන්කන් එයාර් ලයින් අය ආවහම ටිකට් එක කන්ෆර්ම් කරගෙන ආගමන  නිලධාරීන්ට ඒක පෙන්නන්න" ඇය මිත්‍රශීලී නොවූ හඬකින් පැවසුවාය. මා සිතුවේ ඇය විහිළු කරනවා කියා නමුත් ගමන් බලපත්‍රය එතන දමා ඇය යන්නට ගියාය.
කවුන්ටරයේ සිටි නිලධාරියා කීවේ ඇය කී පරිදි කරන ලෙසය
.මම බලවත් අසරණ බවකට පත් උනෙමි.

වටපිට බැලු මට "චීෆ් ඉමිග්රේෂන් ඔෆිසර්"  කියා සඳහන් කර තිබුණු අඳුරු වීදුරු සහිත කාමරයක් පෙනුණි. මම වහාම එහි ගොස් එහි සිටි ප්‍රධානියාට මට වුනු අපහසුතාව කීවෙමි. මගෙන් ප්‍රශ්න කීපයක් ඇසු ඔහුට මා වංචා කරුවෙකු නොවන බව වැටහෙන්නට ඇත. ඔහුම මගේ ගමන් බලපත්‍රයේ මුද්‍රාව තබා මට රටට ඇතුල් වීමට අවසර දුන්නේය.

තවත් වරක "hong kong" හි මා රඳවා ගැනුණේ මා චීනයට යන අතරතුර "hong kong" හරහා ගොස් නැති නමුත් ආපසු එන ගමනේදී එහි පැමිණීම ඔවුන් සැක කළ බැවිනි.එය මා "hong kong" පැමිණි පළමු වර බව ඇසුවිට ඔවුන් මා කාමරයක රඳවාගෙන පැයක් පමණ ප්‍රශ්ණ කලහ.

ඉන්පසුව මා එම රටවලට කීප වරක් ගියනමුත් කිසිම අපහසුතාවක් ඇති නොවීය. මගේ අදහසනම් ශ්‍රී ලාංකිකයෙකු මුල්වරට යනවිට අදාල රටවල් ආගමන නිලධාරීන් කිසියම් සැකයකින් ක්‍රියා කරන බවයි.
බොහෝ විට එයට හේතු වන්නට ඇත්තේ ඇතැම් ශ්‍රී ලාංකිකයන් අතීතයේදී කල නීති විරෝධී කටයුතු විය හැකිය.

කෙසේ නමුත් අපේ ගමන් බලපත්‍රයට පහත් තැනක් හිමිවීමට හේතුව ඉහත කරුණම නොවේ. ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ අදුරදර්ශී ක්‍රියා ද මේසඳහා බෙහෙවින් බලපා තිබේ.

මගේ ගමන් බලපත්‍රයට තිබුනේ අවුරුදු පහක වලංගු කාලයකි. පාස්පෝර්ට් වල වලංගු කාලය කෙටි කෙරීම නිසා අදාල දෙපාර්තු මේන්තුවට වැඩි ආදායමක් උපයා ගැනීමට ඔවුන් කටයුතු කලාදැයි මම නොදනිමි.
නමුත් පැහැදිලිවම ඒ සඳහා සැලසුමක් නොවීය. මා ගමන් බලපත්‍රය දීර්ඝ කරන්නට ගියවිට  සිදු කල එකම දෙය නම් "වෙනස් කිරීම් සහ නිරීක්ෂණ" පිටුවේ
"වැලිඩිටි එක්ස්ටෙන්ඩර්ඩ් අන්ටිල්  <date> "  "මීට කොම්පිටන්ට් ඔතෝරිටි" කියා  සටහන් කර මගෙන් මුදලක් අය කර ගැනීමය.
පරණ ප්රින්ටරයකින් සලකුණු කල ඉහත වැකිය බොහෝ දෙනෙකුට නොපෙනෙන්නේය.ඉතින් ඔවුන් මගේ ගමන් බලපත අවලංගුවී ඇතැයි සිතති. ගමන් බලපත්‍රය පෙරල පෙරලා ඔවුන් යමක් සොයන අයුරු දකින මම "වැලිඩිටි එක්ස්ටෙන්ශන්" අහවල් පිටුවේයි කියමි.
 වරක් ජර්මනියේදී මගේ පිළිතුරෙන් නිලධාරියා සැහීමකට පත් වුයේ නැත.
කිසිම රටක ගමන් බලපත්‍රය ඉහත ආකාරයෙන් දීර්ඝ නොකරන බව කී ඔහු මා නිවසේදී ඉහත වැකිය ප්‍රින්ට් කර ගන්නට ඇතයි
මට චෝදනා කළේය.
මා එම රටින් පිටවන්නට සිටි නීසා  මා බියක් සැකක් නැතිව කියා සිටියේ , ලංකාවේ වැඩ කෙරෙන්නේ එසේ බවත්, අවශ්‍ය නම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කතා කර ඒ බව පරීක්ෂා කර ගන්නා ලෙසත්ය.

අපේ ගමන් බලපත්‍රයේ මුල් පිටුවේ මෙසේ වැකියක් වෙයි.

"මෙය දරන්නාට අවහිර බාධාවලින් තොරව නිදහසේ ගමන්කිරීමට සහ අවශ්‍ය වන ආධාරද ආරක්ෂාවද සලස්වා දෙනා ලෙසටත් අදාල වගකීම් දරන සියලු දෙනාගෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේජනාධිපති ඉල්ලුම්කර ද අපේක්ෂාකර ද සිටී"

අපේ ගමන් බලපත ලෝකයට ප්‍රශ්නයක් වන ලෙස සැකසුම් කොට ඉහත වැකිය යෙදු පමණින් මුළු ලෝකයම එය හිස් මුදුනින් පිළිගනීවියි අදාල බලධාරීන් සිතනවාදැයි මම නොදනිමි!

Friday, 1 November 2013

දෙහිවල සත්වඋද්‍යානය

දෙහිවල සත්වඋද්‍යානය

නොයෙක් වර්ණයන්ගෙන් යුතු කරකැවෙන සුලං පෙති සහ වෙනත් සෙල්ලම් බඩු රැගෙන එන වෙළෙන්දෝ සත්ව උද්යානයට ඇතුල්වීමට සිටින පිරිසේ කුඩා ලමුන්ට ඒවා දෙති. ප්‍රමෝදයට පත්වන කුඩා උන් දැතින්ම එවා අල්ලා ගනිති.
රුපියල් හැටයි වෙළෙන්දා කියයි.
සමහරු වහාම මුදල් ගෙවා , ගෙදර සිටින ලමුන්ටත් අමතර එකකුත් ගනී. ඇතැම් මවුවරු අවසර පතා තම ස්වාමි පුරුෂයන්ගේ මුහුණ බලති. තවත් කෙනෙක් ලමයින් හඬත්දී සෙල්ලම් බඩුව උදුරාගෙන වෙළෙන්දාටම ආපසු දෙති. 
රුපියල් හැටක් යනු තවමත්  දුප්පත් දෙමව්පියන්ට විශාල මුදලක් කියා මට වැටහුණේ එවිටය.

මා අන්තිමට සත්ව උද්‍යානයට පැමිණියේ මීට වසර විසි ගණනකට කලින් නිසා එය කොතරම් වැඩි දියුණු වී ඇතිද යන්න ගැන මට අවබෝදයක් නැත. එවකට කුඩා ළමයෙක්ව සිටි මට යන්තමින් හෝ මතක මින් මැදුරේ සිටි නිල්පාට මාළුවන්ය. ඇත්තටම කිව්වොත් මට හොඳටම මතක තිබුනේ එහිදී මා කෑ "හොට් ඩෝග්" කියා අප හදුන්වන බනිස් ගෙඩිය ගැනය. 

දැන් නම් දෙහිවල සත්තු වත්ත ඉතා ලස්සනය. සත්තුන්ගේ කූඩු අලංකාර ලෙස සකස් කර තිබේ. ඔරන් ඔටන්ගේ කෙස් සියල්ලම straightening කර ඇති නිසා ඌ නම් අලුත්ම සතෙක් වගේය. ලණුවකින් එල්ලා ඇති ටයරයේ නැගී ඌ සෙල්ලම් කරන අයුරු බලන්නට වටි.
ඊට අමතරව නරබන්නන්ට ඇවිද යාමට සහා රෝද පුටු යාමට වෙනම මාර්ගයක් පවා තනා ඇත්තේය,

ඇවිදීමෙන් වෙහෙසට පත් අපි සවස තුන පමණ වන විට මුහුදු සිංහ සංදර්ශනය පෙන්වන තැනට පැමිණියෙමු. සංදර්ශණය පටන් ගන්නේ හතරට නිසා එය හොඳින් දිස්වන තැනක අපි වාඩිවීමට අපට හැකි විය. මුහුදු සිංහයා සිටින ජලාශය ආරක්‍ෂිත යකඩ වැටකින් වටකර තිබේ. ඒ වැටත් ජලාශයත් අතර තණකොළ සහිත බිම් කඩකි.  මෙකී කම්බි වැටටත් අඩි දෙකකින් පමණ දුරකින් නරබන්නන්ට වාඩිවියහැකි සර්පිලාකාර සිමෙන්ති බැමි සකසා ඇත්තේ.

සවස හතරට ආසන්න වනවිට මේ එළිමහන් රංග පීඨය සෙනගින් පිරී ඉතිරී තිබුණි. ටික වෙලාවකට පසු ලංකාවේ ජාත්‍යන්තර පාසල් යයි හඳුන්වන පාසලක ළමුන් පිරිසක් එහි ඇතුල්වූහ. මේ ළමයින්ට හිදගනීමට එහි ඉඩක් නැත. ඉතින් මේ ළමුන්ගේ ගුරුවරු ළමයින්ව අර ආරක්‍ෂිත වැට මත වාඩි කරවූහ.සිමෙන්ති ආසන මැද මෙතෙක් වේලා හිඳගෙන සිටි අනෙකුත් ළමයින් මේ නිසා කලබල වුහ. ඔවුන්ගේ දර්ශන පථය අවහිරද වී තිබේ. ඔවුනුත්ඉහත පාසලේ ළමුන් මෙන් වැට ලගටම ගාල් වූහ.
ඒ අතර සිටි එක ළමයෙක් වැටත් උඩින් පැන ගොස් , වැටත් ජලාශයත් අතර තණකොළ බිස්සමත වාඩිවිය. බොහෝ අය ඔහු අනුගමනය කලහ.සමහර වැඩිහිටියොත් ගොසින් වැට අසලින්ම හිට ගත්තෝය.

සංදර්ශනය පටන්ගැනීමට කලින් පැමිණ පිටුපසින් අසුන්ගෙන සිටි වැඩි දෙනෙකුට පෙනුණේ ඔවුන්ට ඉදිරියෙන් සිටි මිනිසුන්ගේ හිස් ගෙඩි  පමණි. සංදර්ශනය මෙහෙයවන්නා මෙසේ කීවේය.
" අපිට හරිම සතුටුයි ඉස්කොලේ යන මේ පොඩි ළමයින්ට යමක් කියල දෙන්න." එසේ දේශනය පටන් ගත ඔහු මුහුදු සිංහයා ගැනත් , උගේ වයස, දත් ආදිය ගැන ළමුන්ට විස්තර කළේය. නමුත් මුහුදු සිංහයා සිටින ජලාශය වටා ඇති වැට ගැනවත්, එය ඇත්තේ ළමයින්ගේ ආරක්ෂාවට නිසා එය මත වාඩිවීම හෝ එය පසුකර ජලාශයේ බැම්ම ලඟට පැමිණීමේ භයානක කම ගැන ඔහුටවත් අනෙක් දෙමව්පියන්ටවත් වගක් නොවීය.

"හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි" යනු ලංකාවට ආගන්තුක දේ බව සැබෑය. නමුත් අපේ දරුවන්ට හොඳ නරක කියා දීමට සිටින ගුරුවරුන්ට සහ දෙමවුපියන්ට මේවා නොවැටහීම ඉතා කණගාටුදායකය.
 සංයමයක් නැති කමේ විපාක අපි සැමදාම අත් විඳිමු. පාරේ රථයක් එලවන විටද, කඩයකින් බඩු ගන්නට,  බැංකුවක පෝලිමේ සිටින විටද අපි එය අත් දකිමු. අපට කලින් පැමිණි තැනැත්තාට ප්‍රමුඛත්වය දිය යුතුය යන්න අප උවමනාවෙන්ම අමතක කරදමා තිබේ.
එදිරියටත් එය වෙනස්වන බවක් නම් මම නොදකිමි!


Thursday, 17 October 2013

හිඟන්නා


කුඩා කල අම්මා හෝ  තාත්තා සමග බසයේ යනවිට හිඟන්නන් බොහෝ දැක ඇති නමුත් ඔවුන් පිළිබඳව මගේ මතකයේ හොඳින් සටහන් වන්නේ ම පාසලේ හය වැනි වසරේ ඉගෙනුම ලබමන අවදියේය.
එකල ඇස්වාට්ටුව හන්දියේ සිට පිළියන්දලට  120 බසයේ පැමිණෙන මා 162 බණ්ඩාරගම බසයට නගිනතුරු බොහොදුරට ඉඳගැනීමට බසයේ අසුනක් නොලැබෙන්නේය.
එන්ජිම නැවතුවොත් යලි පණගැන්විය නොහැකි බණ්ඩාරගමට දුවන ලංගම බස් රථයේ සෙනග පිරෙනතුරු එකා පසුපස එකා බැගින් බසයට නගින  හිඟන්නන්ගේද , විරිදු කාරයන්ගේද අදෝනාව බසයේ එන්ජිමේ ගෝශාව සමග එකල මට නිතරම ඇසන්නට ලැබුණි.
බස් ගාස්තුවෙන් රුපියල් දෙකක් ඉතිරි කරගත්තොත් රටකජු කඩයෙන් රටකජු කෑ හැකි බැවින් මේ බොරු කියන හිගන්නන්ට සතයක් වත් නොදී ඉන්නට මම තරයේ හිතා ගනිමි.
කෙසේ උවත් දෙවෙනි හෝ තුන්වෙනි හිගන්නාගේ දුක්ගැනවිල්ල හමුවේ හිත උණුවන මම අතේ ඉතිරු රුපියලක් හෝ සත පනහක් වෙතොත් එය ඔහුට දෙමි.ඉතින් රටකජු කන්නට මට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

හිගන්නන් ගැන මට ඇති අප්‍රසන්නම අත්දැකීම ම ලැබුවේ මා විශ්ව විද්‍යාල ශිෂ්යයෙකුව සිටි කාලයේදීය.
බසයට නැගුණු තරුණ පෙනුමක් ඇති සාමාන්‍ය ලෙස ඇඳ පැළඳ සිටි පුද්ගලයෙක් ජයවර්ධනපුර රෝහලේ ඉගෙනුම ලබන හතර හැවිරිදි දරුවාට අවශ්‍ය හදිසි ශල්‍යකර්මය සඳහා මුදල් සොයමින් සිටියේය.
තවත් දවස් දෙකකින් කරන්නට නියමිත ශල්‍යකර්මයට තවත් රුපියල් තිස්දහසක් මදි නිසා ඔහුට බසයේ අත පාන්නට සිදුවී තිබේ. වෛද්‍ය සහතික ඇතුළු නොයෙක් ලියකියවිලි රැසක් ඔහු අතේය.

මා වහාම මගේ මුදල් පසුම්බිය හැර බැලුවෙමි.හරියට රුපියල් එකසිය දහඅටක් එහි තිබුණි.මෙය නම් බල සිටිය යුතු මොහොතක් නොවේ. මම රුපියල් සියයේ කොලය ඔහුට දුනිමි.බසයේ සිටි බොහෝ දෙනා තමන්ට හැකි පමණින් උදව් කලහ.මුදල් නෝට්ටු වලින් ඔහුගේ දෑත පිරී තිබිණි. මම සැනසුම් සුසුමක් හෙලුවෙමි. දරුවාගේ ශල්‍යකර්මය සාර්ථක වේවා!

ඊට‍ හරියට සති තුනකට පසු මට මේ මිනිසා නැවතත් හමුවිය.
ඒ සුවපත්වූ දරුවා සමග නම් නොවේ. ඔහු කලින් වතාවේ කල රඟපෑම නැවතත් කරමින් සිටියේ තවත් දින දෙකකින් ඇති දරුවාගේ "සැත්කම" සඳහාය.මගේ කණ රත්වීගෙන එනු මට දැනුණි. මට දුක සිතුනේ සරසවි සිසුවෙකුවූ මට රුපියල් සීයක් යනු විශාල මුදලක් වූ නිසාම නොවේ, මා ඇතුළු බසයේ සිටි මිනිසුන්ගේ අභ්‍යන්තරයේ ඇති කරුණාව සහ අනුන්ගේ දුකෙහි දී සිත් උණුවන ගතියට මොහු වංචා කරන බැවිනි.
මා හිතන විදිහට එය හොරකමකට වඩා අකුසල් උපදවන කාරණයක් වනු ඇත.
මේ සිද්දියෙන් පසු හිඟන්නන් යනු වන්චාකරුවන්ය යන හැගීමක් මගේ යටි සිතේ තැන්පත් විය.

වසර කීපයකට පසු මම අධ්‍යාපන කටයුතු නිමකර රැකියාවක් කරන අවදියේ මගේ මිතුරෙකු එනතුරු ටවුන්හෝල් එක ළඟ බල සිටියෙමි.කිසිවෙක් මෝටර්රථයේ වීදුරුවට තට්ටු කරනු ඇසීමෙන් මම මා එදෙස බැලුවෙමි. එහි සිටියේ පොඩිවුන ඇඳුමෙන් සැරසුණු යුවලක් සහා දරුවන් දෙදෙනෙකි.
එහිසිටි පිරිමියා කියා සිටියේ දරුවන්ට බඩගිනි බැවින් කන්නට යමක් දෙනා ලෙසය.
 කුමක් හෝ හේතුවක් නිසා ඔවුන්හට මුදල් දීමට මට සිතුනේ නැත. ඒ වෙනුවට මම ඒ පිරිස "රාහුමනියා" හෝටලයට කැඳවාගෙන ගොස් අවශ්‍ය දෙයක් කන ලෙසත් සියලු මුදල් මා ගෙවන බවටත් කවුන්ටරයේ සිටි තැනැත්තාට කීවෙමි.
දරුවන් ඉල්ලා සිටියේ පැණිරස කෑම සහා පැණි බීම පමණි.ඔව්න්ගේ මව ඔවුන්ට බත් කන ලෙස  කීවත් උන් බත් එපා කීහ.ඒ මව සිසිල් බීම පමණක් පානය කල අතර, පියා කීවේ ළමුන්ට කෑම දීම් සැහෙන බවත් ඔහුට කිසිවක් අනවශ්‍ය බවත්ය.
මා පෙරැත්ත කලත් ඔහු කිසිවක් නොකෑ අතර මට මුව නොසෑහෙන පරිදි පින් දුන්නේය. මේ මිනිසා ගැන මගේ හිත අනුකම්පාවෙන් පිරුණු අතර ඇසට කඳුළු නැංවීය.
මගේ මිතුරා දුරකථන ඇමතුමක් දුන් බැවින්  මා බිල්පත ගෙවා දමා එතනින් ඉවත්වීමි.

අදත් යම් කිසි කෙනෙකු මුදල් ඉල්ලනු දුටුවොත් දරුවාගේ ශල්‍යකර්මයට මුදල් එකතු කල වංචාකාරයාගේ මුහුණත්, රාහුමානිය හෝටලයේදී මා දුටු පියාගේ අව්‍යජාවත් මුහුණත් මගේ සිතේ විදුලියක් මෙන් ඇදෙන්නේය.
ඒ හැම එකෙකුටම දුක් ගැනවිල්ලක් ඇත්තේය. එහි ඇත්ත නැත්ත මට කුමටද ?මැදිහත් සිතින් මා කීයක් හෝ ඔවුන්ට දෙන්නෙමි.